Monday, July 25, 2011

අහස......


අහස හරිම පුදුමාකාරයි. වෙලාවකට ලස්සනට හිනාවෙනව. බලා ඉන්න හරිම ආසයි. තවත් වෙලාවකට හොඳටම දුක හිතිල වගේ අඬන්න ඈස් බර කරන් බලන් ඉන්නව. එහෙම ඉන්න බැරිවෙනකොට කඳුළු කැට කඩා හැලෙනව. සමහර වෙලාව​ට ඒ කඳුළු වලින් අපි යටවෙලා යන තරමට අහස අඬනව. තවත් වෙලාවකට අහස හරිම දරුණු වෙනව. හෙන හඬ නගල, ගර්ජනා කරල අපිව බය කරනව. ටික වෙලාවකින් ආයිත් සන්සුන් වෙලා මොනවත් නොවුනු ගානට හිනා වෙනව.

අහස හිනා වෙනකොට හැමෝගෙම හිත් සතුටින් පිරෙනව. ඒ අහසෙ හිනාව, අහස යට ඉන්න අපේ හිත් වලටත් කාන්දු වෙන නිසා කියලයි ම​ට හි​තෙන්නෙ. මම අහස​ට මේ තරම් ආදරය කරන්නෙ ඒ නිසයි.

අහස දුකෙන් බරවෙලා තියනකොට එහෙමත් නැත්නම් ඉකි ගගහ අඬනකොට අහස යටට වෙලා අහස දිහා බලා ඉන්න අපිටත් කොයි තරම් දුකයිද.  ඒත් මේ මහ පොලව සරු කරන්න නම්, අපිට ජීවය දෙන්න නම් අහසට අඬන්නම ඕන. අහස හෙලන ඒ ආදරය පිරිච්ච කඳුළුකැට ​නැත්නම් මේ හැම දෙයක්ම වේලිලා ඉරි තලල යයි.

තරහ ගියාම නම් අහස ගොඩාක් දරුණුයි.  බලන්න බය හිතෙන තරමට දරුණුයි. ඒ වෙලාවට නම් අපිට කරන්න පුළුවන් අහස සන්සුන් වෙනකන් බලාඉන්න එක විතරයි.

 අහසත් මහ පොලව වගේම හැමදේම උහුලනව. ඒත් අහසට මහ පොලව තරම් ඉවසන්න නම් බෑ. ඒකයි ටිකක් බර වැඩිවුනු ගමන් නිකන්ම කඩාහැලෙන්නෙ. 

කොයි තරම් දුක හිතුනත්, තරහ ගියත් ටික වෙලාවකින් ඒ කිසි දෙයක් නොවුනු ගාන​ට අහස අපි එක්ක හිනා වෙනව. එ තමයි අහසෙ හැටි.......................

 

Saturday, July 16, 2011

මාව අමතක වෙලාද................

දවස හරියටම 2010 ඔක්තෝබර් 25 වෙනිද. මට අද වගේම මතකයි. අදට මාස 8යි දවස් 21ක් මට එයාව මුනගැහිල. මුල දවස්වල නම් හැමදාම මාව බලන්න ආව. එයා මාව බලන්න ආවම මට මාරම සතුටුයි. අඩුම ගානෙ දවසට පැයක් දෙකක් වත් මාත් එක්ක ගතකරන්න එයා පුරුදුවෙලා හිටිය. කොයි තරම් වැඩ තිබුනත් එක දවසක්වත් මග ඇරියෙ නෑ. 
ඒත් ටික කලක් යද්දි මාව බලන්න එන එක ටිකක් අඩු වුනා. දවසකට දෙකකට සැරයක් ඇවිත් ගියා. ඒ එයාට වැඩ වැඩි හින්ද වෙන්න ඇති කියල මම ඉවසුව. හැමදාම ආවෙ නැතත් දවසකට දෙකකට සැරයක්වත් එනව නේද කියල මම හිත හදාගත්ත. ඉක්මනටම එයාට වැඩ අඩුවෙලා ආයිත් මගේ ජීවිතයට සතුට අරන් එයි කියල මම බලාගෙන හිටිය. හරිම ආසාවෙන් බලාගෙන හිටිය.
අවාසනාවකට ඒක එහෙම වුනේ නෑ. තත්වෙ එන්න එන්නම නරක අතට හැරුන. එයාට එන්න එන්නම වැඩ වැඩිවුනා. දවසකට දෙකකට සැරයක් එන එක සතියකට සැරයක් වුනා. සතිය දෙක වුනා. මාසෙකට සැරයක් වෙලා අන්තිමට මාව අමතකම වෙලා ගිහින්.
මම හැමදාමත් මග බලාගෙන හිටිය අදවත් එයි මාව බලන්න කියල. අන්තිමටම එයා ආවෙ මැයි 12. දැන් මාස දෙකකටත් වැඩියි. කොයි තරම් වැඩ තිබුනත් අඩුමගානෙ මාසෙකට සැරයක්වත් මාව බලල යන්න එන්න බැරිකමක් නෑනෙ. පැය ගනන් ඕන නෑ. අඩුමගානෙ විනාඩි 5 කට 10 කට වත් ඇව්ත් යන්න බැරිද. 
ඉවසුව. පුළුවන් තරම් ඉවසුව. ඒත් මාස දෙකකුත් පහුවුනාම තවත් නම් ඉවසන්න බැරි වුනා. ඒ හින්දයි මෙහෙම  
ලියන්න හිතුවෙ. සමහරවිට මේක දැකල ඔයාට හොඳටම තරහ යයි. අනේ ඒත් මට වෙන කරන්නම දෙයක් නැති නිසයි, මේක කියවන ඔයාගෙ යාළුවෙක්වත් ඔයාව ආයිත් මගේ ලඟට එවයි කියල හිතල මේක ලිව්වෙ. 
අනේ කරුණාකරල ඔයාල කවුරුහරි පසන්ට කියනවද එයාගෙ බ්ලොග් එක එයා එනකන් මග බලාගෙන ඉන්නව කියල............................