Tuesday, November 19, 2013

අමතක වෙන්න කලින් ලියල තියාගන්න - ගූගල් කීප්

නිතරම ජාලයේ සැරිසරන අපිට විවිධාකාරයේ දේවල් හම්බ වෙනවනෙ. එවෙලෙට මතක තිබුනත් පස්සෙ වෙලාවක හොයද්දි මතක නෑ. ඉතින් ඇවිදපු තැන් පීර පීර හොයන්න වෙනව. 

අහුවුන වෙලාවෙ කොහේහරි සටහනක් දාගත්තනම් හරි. 

ඒත් කොහෙද දාගන්නෙ? 

ගොඩක් අය පුරුදුවෙලා ඉන්නෙ මේල් එකේ ඩ්‍රාෆ්ට් එකක් දාගන්න. එහෙමත් නැත්නම් ටෙක්ස්ට් ෆයිල් එකක දාල තියාගන්න.

මම මේ කියන්න යන්නෙ ඊට වඩා පහසු ලස්සන ක්‍රමයක් ගැන. පුංචි පුංචි සටහන් දාගන්නත් චෙක් ලිස්ට් දාගන්නත් පුළුවන්කම ඒකෙ තියෙනව. ඒ තමයි ගූගල් කීප් සේවාව.



ගිහින් බලල කියන්නකො කොහොමද කියල. https://drive.google.com/keep/ 

Thursday, September 19, 2013

දන්න සිංහලෙන් හොයාගන්න

මේ ලඟදි දවසක මම බස්සිගෙ ගෙදර ගියා නෙ. ඒ යද්දි බස්සිගෙ තාත්තට යාළුවෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබිල තිබුන. කාරණේ තමයි යාළුවගෙ පුතාට සාගර පලන්සූරිය ශූරීන් එහෙමත් නැත්නම් කේයස් ගැන විස්තර ටිකක් දැනගන්න. බස්සිෙගෙ තාත්තට එතුමගෙ විස්තර සෑහෙන්න දුරට මතක තිබුනත් හරියටම දින වකවානුත් සමහර කෘති වල නම් වගේ දේවල් හරියටම මතක තිබුනෙ නෑ. "සුදො සුදු" පොතේ බැලුවත් ඒතරම් විස්තරයක් හොයාගන්න බැරිවුනා.

අපේ හුඟක් ප්‍රශ්ණ වලදි පිහිටට ඉන්නෙ ගූගල් දෙයියො නිසා අන්තිමේදි මේ ප්‍රශ්නෙත් ගූගල් දෙයියන්ට ඉදිරිපත් කරන්න තීරණය කලා. ඉංගිරිසියෙන් ගහල සර්ච් කලත් ඒ තරම් හොඳෙ ප්‍රතිඵලයක් පෙනෙන්නට තිබුනෙ නෑ. 

මේ අතරෙ බස්සිගෙ තාත්ත යාළුවට දන්න විස්තර කියනව ලියාගන්න කියල. මල චාටර් එකක් වෙන්න යන්නෙ. අපිට හම්බවෙච්ච විස්තර වලට වඩා පට්ටම සිරා විස්තරයක් එයා කියාගෙනයනව. 

නිකමට හිතුනෙ සිංහලෙන් සෙවුමක් දාල බලන්න. අකුරු දෙකයි ගැහුවෙ, මෙන්න දෙයියො උඩපැනල අහපි "එම්බා නරය, තා හොයන්නෙ සාගර පලන්සූරිය ගැනද?" කියල. 

ප්‍රතිඵල අතර ඉතාම ඉහල මට්ටමේ ලිපි රාශියක් තිබුන. තාත්ත ඒ විස්තරත් භාවිතා කරල වැඩේ සම්පූර්ණ කරගත්ත. අපිට ඉතින් සතුට කියල නිමකරන්න බෑ. යන්තම් ජාමෙ බේරගත්තනෙ. 

ගූගල් සෙවුමට යුනිකේත සෙවීමේ පහසුකම එක්කරල සෑහෙන්න කාලයක් වුනත් සිංහලෙන් සෙවීම ඒ තරම් ජනප්‍රිය නොවුනෙ අන්තර්ජාලය තුල සිංහලෙන් ලියවුණු ලිපි හිඟවිම නිසානෙ.

දැන් තත්වය බොහෝ සෙයින් වෙනස් වෙලා. බොහෝ ජාතික පුවත්පත් වගේම අනෙකුත් විද්‍යුත් මාද්‍ය ආයතත් තමන්ගේ සිංහල වෙබ් අඩවි, ප්‍රවෘත්ති අඩවි සිංහල යුනිකේත මගින් ඉදිරිපත් කරනව. ඒ වගේම විවිධ ආයතන, සංවිධානල එකමුතු මගිනුත් පෞද්ගලිකවත් පවත්වාගෙන යන සිංහල වෙබ් අඩවි හා බ්ලොග් මගින් අන්තර්ජාලය තුල සිංහල අන්තර්ගතය වැඩිකිරීමට කරන සේවය මිලකල නොහැකියි.

එමෙන්ම සිංහල යුනිකේතයේ දියුණුට කැපවූවන් සිදුකල සේවය ඉතාම අනර්ඝයි. සිංහල බ්ලොග් ලිවීම ජනප්‍රිය කිරීමටත් අන්තර්ජාලය තුල සිංහල කියවන්නන් වැඩිකිරීමටත් දායක වූ සින්ඩිකේටර් හා බ්ලොග් කරුවන්ගේ එකමුතු අමතක කල නොහැකියි.


අන්තර්ජාලය තුල සිංහල ප්‍රචලිත කිරීම වෙනුවෙන් කැපවූ සියළුම දෙනා වෙත මා ගේ ප්‍රණාමය.....!!!!!!!

Sunday, August 25, 2013

.jar ෆයිල් වල හොඳ නරක

මේ ලිපිය ලියන්න හිතුනෙ වැඩ කරද්දි මුහුණ දෙන්න සිද්ධවුනු ගැටළුවක් සහ ඒ ගැටළුව විසඳගන්න යොදාගත් ක්‍රමය ඔයාලත් එක්ක බෙදාගන්න. 

මේ ගැටළුවට මුහුණ දෙන්න සිද්ධවුනේ maven වලින් project එකක් build කරන්න යද්දි. එතකොට මෙන්න මේ exception එක දැකගන්න ලැබුන.
[INFO] excludes = []
[INFO] /home/pasan/works/vCity/event/self-care/ussd/src/main/scala:-1: info: compiling
[INFO] Compiling 34 source files to /home/pasan/works/vCity/event/self-care/ussd/target/classes at 1376626708173
[ERROR] error: error while loading <root>, error in opening zip file
.......
.......
මේකෙන් කියවෙනව "error in opening zip file" කියල කතාවක්. මේක Scala (හෝ java )  project එකක් නිසා ගැටළුව වියයුත්තේ  .jar ෆයිල් එකකයි. ඉතින් කොහොමද හොයාගන්නෙ මොන .jar ෆයිල් එකේද ප්‍රශ්නෙ තියෙන්නෙ කියල.

එතෙන්දි මගේ පිහිටට ආවෙ මෙන්න මේ විධානය. විධානයක් කිවුවට මේක විධාන කීපයක එනතුවක් ස්ක්‍රිප්ට් එකක් කිවුවොත් වඩාත් නිවැරදියි.
find . -name *.jar -exec bash -c "echo {} && jar tvf {} | head -n 1" \; 
 මම කලේ ලිනක්ස් ටර්මිනල් එකෙන් .m2 රිපො එකේ මේ කමාන්ඩ් එක රන් කරපු එකයි. මේකෙදි  තියන හැම  .jar ෆයිල් එකක්ම පරික්ෂා කරනව. ටර්මිනල් එක දිහා බලාගෙන ඉන්නකොට පෙනෙයි  .jar ෆයිල් පරික්ෂා කරගෙන යනව. ඒ අතරෙ සමහර  .jar ෆයිල් යටතේ "error in opening zip file" දෝශය පෙන්වන exception එක දැකගන්න ලැබෙයි. ඔයාට කරන්න තියෙන්නෙ අදාල  .jar ෆයිල් එක හොඳ  .jar ෆයිල් එකකින් ප්‍රතිස්ථාපනය (replace) කිරීම විතරයි.  

Monday, August 19, 2013

දන්නෑ...........















ඔයා කාල තියනවද . . . .  දන්නෑ . . .
නැත්නම් හදල තියනවද  . . . දන්නෑ . . .
එහෙනම් දැකල තියනවද . . . දන්නෑ . . .
අඩුගානේ අහල තියෙනවද . . . දන්නෑ . . .

හදන්න මොනවද ඕනෑ . . . දන්නෑ . . .
කොච්චර ඕනවෙයිද හදාගන්න . . . දන්නෑ . . .
බැදලද, තම්බලාද නැත්නම් ගුලිකරලද . . . දන්නෑ . . .
බේක් කරල කෑලි කපල කනවද . . . දන්නෑ . . .

දන්නෑ . . . ගන්නෙ කොහෙන්දෝ . . .
දන්නෑ . . . මොන පාටයි දෝ . . . 
දන්නෑ . . . හරි සුවඳයි දෝ . . .
දන්නෑ . . . ගාන කොහොම දෝ . . .


එහෙම වෙලත් . . . හැමදාමත් . . . මම ඇහුවොත් . . .
"ඔයා මොනවද කන්නේ . . . ?", "ඔයාට මොනවද ඕනේ . . . ?"
හැමදාමත් එයා දෙන්නෙ එකම උත්තරේ . . . "දන්නෑ . . ."
එතකොට මම අහන්නෙ . . . "කීයක් ඕනෙද දන්නෑ . . ."

Saturday, July 6, 2013

බස්සිගේ නවාතැනට ගොඩවෙමුද..........

ඔන්න එකමත් එන රටක බස්සෙකුට ලස්සන ගෑනුලමයෙක්ව හම්බවෙලා වෙච්චි දෙයක් ගැන තමා මම අද කියන්න යන්නෙ. හැබැයි ඒ කතාව මම කියනවට වඩා ලස්සන ඒ ගෑනුලමයගෙ (දැන් නම් එයා බස්සියෙක්නෙ) වචන වලින්ම අහනකොට. මොකද බස්සට වඩා හොඳට බස්සිට හැමදේම අකුරක් නෑර මතකයි. 



මේ බස්ස පන වගේ ආදරේ කරන ඒ බස්සි අකුරු කරන අපේ ආදර කතාව කියවන්න ගොඩවෙන්න බස්සිගේ  නවාතැනට

Monday, March 25, 2013

කළබලෙන්. . . . .

"කළබල උනාම කොරස් කටෙත් අත දාගන්න බෑ" කියල කතාවක් නම් තියෙනව. ඒත් අපේ හුඟදෙනෙක් පුරුදුවෙලා තියෙන්නෙ අන්තිම මොහොතෙ වැඩ කරන්නනෙ. ඉතින් කළබල නොවී කොහොමද?  අනික අර අපේ උන් කියනව වගේ එහෙම නොකලොත් කිසි ගතියක් නැහැලුනේ.

පාඩම් කරන්න ගියත් එහෙමනේ. මාස ගානක් හාල් වෙවී ඉඳල  ඉඳල විභාගෙට දවසක් තියා තමා මතක් වෙන්නෙ පාඩම් කරන්න ඕන කියල. ටියුට් කරන්න සතියක් තිබුනත් කරන්නෙ අන්තිම පැයේදි. ඇයි ප්‍රොජෙක්ට් කරද්දි අන්තිම දවස් දෙක තුනේ අවුරුද්දක වැඩ කරනවනෙ.

වෙන එකක් තියා ඊයෙ රෑ 12 ට කලින් දාන්න තිබුනු එසයින්මන්ට් එක කරල ඉවර වෙද්දි 11.45 යි. අන්තිම මොහොතෙ ගිනි පත්තුවෙලා වගේ වැඩ කරන එක දැන් පුරුද්දට ගිහින්ද මන්ද......

ඉස්කෝලෙ කාලෙත් එහෙමයි නෙ. උදේ ගියාම තමා මතක් වෙන්නෙ කරන් එන්න කියපු වැඩ ටික. ඉතින් දාගෙන කරනව උදේ පාන්දර. කැම්පස් යද්දි හිතුව එහෙදිවත් හරියට කරනව කියල. ඒත් ඉතින ටික දවසයි. ආයිත් පරණ පුරුදු ක්‍රමේම තමා. ඒත් කවදාවත්ම කරන්න තියන වැඩ අතපසු කරේ නම් නෑ. රෑ එලිවෙනකන් කරල හරි වැඩේ ගොඩදැම්ම. ඒක නිසා අව්ලක් උනේ නම් නෑ. 

අනික අන්තිම මොහොතෙ තමා පට්ට සිරා අදහස් එන්නෙ. කලින් කරන්න අරගත්තට මොලේ වැඩ නැද්ද මන්ද මෙලෝ ක්‍රමයක් හිතෙන්නෙ නැතිවුනාට අන්තිම මොහොතෙ කරනකොට නම් කරන විධි, කෙටි ක්‍රම අළුත් අදහස් ගලාගෙන එන්නෙ නිකන් වැවක් වාන් දානව වගේ.

ජොබ් එකට ගියාම නම් ක්‍රමේ ටිකක් වෙනස් වුනා. වැඩ ටික වෙලාවට කරන්න පුරුදු උනා. ඇත්තම කියන්වනම් පුරුදු උනා නෙමෙයි පුරුදු වෙන්න සිද්ධවුනා කිව්වොත් හරි. මොකද රිලීස් එකක් කට උඩ තියාගෙන් කලබලේට දාන ෆික්ස් එකක් වෙන කොහෙන්හරි පත්තුවෙලා රෑ එලි වෙනකන් කටු කන්න නොවිච්ච කෙනෙක් IT එකේ නම් ඉන්න විදියක් නෑ.

මාස්ටර් එක කරන්න පටන්ගද්දි හිතුව දැන්වත් හැදිල ඇති කියල. ඒත් ඊයෙ තේරුමිගත්ත ආයිත් පරණ  ක්‍රමේම තමයි කියල. ඒත් දැන් නම් වෙනස් වෙන්නම වෙනව. 
බලමුකො මොකද වෙන්නෙ කියල.............................