Thursday, September 19, 2013

දන්න සිංහලෙන් හොයාගන්න

මේ ලඟදි දවසක මම බස්සිගෙ ගෙදර ගියා නෙ. ඒ යද්දි බස්සිගෙ තාත්තට යාළුවෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබිල තිබුන. කාරණේ තමයි යාළුවගෙ පුතාට සාගර පලන්සූරිය ශූරීන් එහෙමත් නැත්නම් කේයස් ගැන විස්තර ටිකක් දැනගන්න. බස්සිෙගෙ තාත්තට එතුමගෙ විස්තර සෑහෙන්න දුරට මතක තිබුනත් හරියටම දින වකවානුත් සමහර කෘති වල නම් වගේ දේවල් හරියටම මතක තිබුනෙ නෑ. "සුදො සුදු" පොතේ බැලුවත් ඒතරම් විස්තරයක් හොයාගන්න බැරිවුනා.

අපේ හුඟක් ප්‍රශ්ණ වලදි පිහිටට ඉන්නෙ ගූගල් දෙයියො නිසා අන්තිමේදි මේ ප්‍රශ්නෙත් ගූගල් දෙයියන්ට ඉදිරිපත් කරන්න තීරණය කලා. ඉංගිරිසියෙන් ගහල සර්ච් කලත් ඒ තරම් හොඳෙ ප්‍රතිඵලයක් පෙනෙන්නට තිබුනෙ නෑ. 

මේ අතරෙ බස්සිගෙ තාත්ත යාළුවට දන්න විස්තර කියනව ලියාගන්න කියල. මල චාටර් එකක් වෙන්න යන්නෙ. අපිට හම්බවෙච්ච විස්තර වලට වඩා පට්ටම සිරා විස්තරයක් එයා කියාගෙනයනව. 

නිකමට හිතුනෙ සිංහලෙන් සෙවුමක් දාල බලන්න. අකුරු දෙකයි ගැහුවෙ, මෙන්න දෙයියො උඩපැනල අහපි "එම්බා නරය, තා හොයන්නෙ සාගර පලන්සූරිය ගැනද?" කියල. 

ප්‍රතිඵල අතර ඉතාම ඉහල මට්ටමේ ලිපි රාශියක් තිබුන. තාත්ත ඒ විස්තරත් භාවිතා කරල වැඩේ සම්පූර්ණ කරගත්ත. අපිට ඉතින් සතුට කියල නිමකරන්න බෑ. යන්තම් ජාමෙ බේරගත්තනෙ. 

ගූගල් සෙවුමට යුනිකේත සෙවීමේ පහසුකම එක්කරල සෑහෙන්න කාලයක් වුනත් සිංහලෙන් සෙවීම ඒ තරම් ජනප්‍රිය නොවුනෙ අන්තර්ජාලය තුල සිංහලෙන් ලියවුණු ලිපි හිඟවිම නිසානෙ.

දැන් තත්වය බොහෝ සෙයින් වෙනස් වෙලා. බොහෝ ජාතික පුවත්පත් වගේම අනෙකුත් විද්‍යුත් මාද්‍ය ආයතත් තමන්ගේ සිංහල වෙබ් අඩවි, ප්‍රවෘත්ති අඩවි සිංහල යුනිකේත මගින් ඉදිරිපත් කරනව. ඒ වගේම විවිධ ආයතන, සංවිධානල එකමුතු මගිනුත් පෞද්ගලිකවත් පවත්වාගෙන යන සිංහල වෙබ් අඩවි හා බ්ලොග් මගින් අන්තර්ජාලය තුල සිංහල අන්තර්ගතය වැඩිකිරීමට කරන සේවය මිලකල නොහැකියි.

එමෙන්ම සිංහල යුනිකේතයේ දියුණුට කැපවූවන් සිදුකල සේවය ඉතාම අනර්ඝයි. සිංහල බ්ලොග් ලිවීම ජනප්‍රිය කිරීමටත් අන්තර්ජාලය තුල සිංහල කියවන්නන් වැඩිකිරීමටත් දායක වූ සින්ඩිකේටර් හා බ්ලොග් කරුවන්ගේ එකමුතු අමතක කල නොහැකියි.


අන්තර්ජාලය තුල සිංහල ප්‍රචලිත කිරීම වෙනුවෙන් කැපවූ සියළුම දෙනා වෙත මා ගේ ප්‍රණාමය.....!!!!!!!