Saturday, October 29, 2011

අකුරු..............

ඊයෙ අපේ අයියගෙ උපන්දිනේ නිසා මමත් ගෙදර ඇවිත් යන්න ආවා. අද ආපහු යන්න හිතාගෙන හිටියත් ටිකක් අසනීප ගතියකුත් තියන නිසා හෙටම යනව කියල හිතුව. උදේ ඉඳන් ඔහේ කැරකි කැරකි ඉන්නකොට හිතුන බ්ලොග් එක පැත්තෙ ඇවිත් මොනවහරි කුරුටු ගෑවොත් හොඳයි කියල.
ඒත් මොනවද දැන් ලියන්නෙ? ඉතාමත්ම වැදගත් ප්‍රශ්ණයක්. නිකන් ආවට ගියාට මොනාහරි ලියලත් බෑ නෙ.
හරි............ මතක් උනා කතාවක් හුඟ දවසක ඉඳන් කියන්න හිතාගෙන හිටියත් කියන්න අමතක වෙච්ච.  මේක මේ කොච්චියේ යද්දි දැකපු දෙයක්. හවස රාගම, කැළණිය පැත්තෙ ඉඳන් කොටුව පැත්තට යනවනම් ඔයත් මේක දැකල ඇති.

මම දවසක් ගෙදර එන්න කැළණිය ස්ටේසමෙන් කොටුවට එන කොච්චියකට නැග්ග. ඒතරම්ම සෙනග හිටියෙත් නෑ කොච්චියේ. මාත් ඉඳගෙන එහෙම වට පිට බලද්දි හරි අපූරු දෙයක් දැකගන්න ලැබුන.
අවුරුදු 18ක 20ක වගේ කියන්න පුළුවන් පිරිමි ලමයෙක් ඉන්නව දොර කිට්ටුව තියන සීට් එකක. පෙනුමෙන් නම් කුලී වැඩ කරන කෙනෙක් වගේ. (මට සමාවෙන්න එහෙම නෙවෙයි නම්) එයා පොතකුයි පෑන් පැන්සල් තියාගෙන බර වැඩක්. මමත් ටිකක් විපරම් කලා. බලද්දි එයා අකුරු ලියනව.
මුලින්ම ගන්නව රතු පෑන අතට. අරගෙන ලියනව අකුරක්. ඊට පස්සෙ රතු පෑන පැත්තකින් තියල පැන්සල අරගෙන් ලියනව අර අකුර පේලියක්ම. ඊලඟට නිල් පෑනෙන් කළු පෑනෙන් පේලිය බැගින් ලියනව.
මේ අතරෙ දෙමටගොඩින් නගින පිරිමි ලමයි ටිකක් දොර ගාවට වෙලා ඉන්නව. "අයින් වෙන්න! අයින් වෙන්න! පොතට කළුවරයි " කොල්ලො ටිකට පුංචි ගෝරනාඩුවක්. කොල්ලො ටික එහාට මෙහාට කරල ආයිත් වැඩේ පටන් ගන්නව.
පිටුව පිරෙන්නම ලියල ඉවරවෙලා බොහොම ජයග්‍රාහී හිනාවක් එක්ක වටපිට බලනකොට එයා දැක්ක මම එයා දිහා  බලාගෙන ඉන්නව කියල. මමත් පුංචි හිනාවක් දැම්ම. එතකොට කොච්චිය මරදානට කිට්ටු වෙලා. එයා පෑන් පැන්සල් ටික බෑග් එකට දාගෙන පොතත් අරන් ආව මගේ ලඟට. පොත මගේ දිහාට දික් කරල "මේ...." කිව්ව. මමත් පොත අරන් බලල "හොඳයිනේ..." කිව්ව. මූනෙ හිනාවක් පුරෝගෙන එයා බැහැල යන දිහා මම බලාගෙන හිටිය.
ඒ සිද්ධිය එතනින ඉවර වුනත්  ඒ මතකය නම් මගේ හිතින් මැකිල ගියේ නෑ. මාතරට එනකන්ම මම ඒ ගැන කල්පනා කලා. ඇත්තටම එයාට අකුරු ඉගනගන්න තියන ආසාවට මෙහෙම කරනවද එහෙමත් නැත්නම් මානසික රොගයක්වත්ද කියල මම කල්පනා කලා.


හේතුව පලවෙනි එක නම් කොයිතරම් හොඳද...................

Tuesday, October 25, 2011

වසරක් ආ මග..........................

හැක් කරපු ෆේස්බුක් ගිනුමක් නිසා ඇරඹුනු මගේ සිංහල බ්ලොග් කරණයට අදට හරියටම අවුරුද්දක්. අද වෙද්දි 15947 වාරයක් බ්ලොග් එක කියවල. මගේ ලිපි 18 ට ඔබේ අදහස් 66 ක් එකතුවෙලා. මේ දක්වා  මාව ගෙනාවෙ ඔයයි. ඔයාල මගේ අදහස් කියවන නිසයි තව තවත් ලියන්න හිතෙන්නෙ. ලියන ලිපිය යටින් ඔයාගෙ අදහසකුත් තියනව දකින එක තරම් තවත් සතුටක් බ්ලොග් කරුවෙකුට නැහැ. 
මේ ගෙවෙන්නෙ මගේ සරසවි දිවියෙ අවසන් දින කීපය. ප්‍රොජෙක්ට වල වැඩ වලට සෑහෙන්න මහන්සි වෙන්න වුනා. පහුගිය මාස දෙක තුනේ බ්ලොග් එක පැත්තවත් බලන්න බැරිවුනේ ඒ නිසයි. ඒත් ඉතින් බ්ලොග් එකට අවුරුද්දක් පිරෙන දවස නිකන්ම අතැරල දාන්නත් බෑනෙ. 
ඔයාට බොහොම ස්තූතියි වසරක් පුරාවට මගේ අදහස් කියෙවුවට. ඉස්සරහටත් ඔයා මාත් එක්ක ඉන්නව කියල මම හොඳටම දන්නව. 
මේ මල් මිට මෙතෙක් දුර මා සමගින් ආ ඔයාටයි!!!!

Monday, July 25, 2011

අහස......


අහස හරිම පුදුමාකාරයි. වෙලාවකට ලස්සනට හිනාවෙනව. බලා ඉන්න හරිම ආසයි. තවත් වෙලාවකට හොඳටම දුක හිතිල වගේ අඬන්න ඈස් බර කරන් බලන් ඉන්නව. එහෙම ඉන්න බැරිවෙනකොට කඳුළු කැට කඩා හැලෙනව. සමහර වෙලාව​ට ඒ කඳුළු වලින් අපි යටවෙලා යන තරමට අහස අඬනව. තවත් වෙලාවකට අහස හරිම දරුණු වෙනව. හෙන හඬ නගල, ගර්ජනා කරල අපිව බය කරනව. ටික වෙලාවකින් ආයිත් සන්සුන් වෙලා මොනවත් නොවුනු ගානට හිනා වෙනව.

අහස හිනා වෙනකොට හැමෝගෙම හිත් සතුටින් පිරෙනව. ඒ අහසෙ හිනාව, අහස යට ඉන්න අපේ හිත් වලටත් කාන්දු වෙන නිසා කියලයි ම​ට හි​තෙන්නෙ. මම අහස​ට මේ තරම් ආදරය කරන්නෙ ඒ නිසයි.

අහස දුකෙන් බරවෙලා තියනකොට එහෙමත් නැත්නම් ඉකි ගගහ අඬනකොට අහස යටට වෙලා අහස දිහා බලා ඉන්න අපිටත් කොයි තරම් දුකයිද.  ඒත් මේ මහ පොලව සරු කරන්න නම්, අපිට ජීවය දෙන්න නම් අහසට අඬන්නම ඕන. අහස හෙලන ඒ ආදරය පිරිච්ච කඳුළුකැට ​නැත්නම් මේ හැම දෙයක්ම වේලිලා ඉරි තලල යයි.

තරහ ගියාම නම් අහස ගොඩාක් දරුණුයි.  බලන්න බය හිතෙන තරමට දරුණුයි. ඒ වෙලාවට නම් අපිට කරන්න පුළුවන් අහස සන්සුන් වෙනකන් බලාඉන්න එක විතරයි.

 අහසත් මහ පොලව වගේම හැමදේම උහුලනව. ඒත් අහසට මහ පොලව තරම් ඉවසන්න නම් බෑ. ඒකයි ටිකක් බර වැඩිවුනු ගමන් නිකන්ම කඩාහැලෙන්නෙ. 

කොයි තරම් දුක හිතුනත්, තරහ ගියත් ටික වෙලාවකින් ඒ කිසි දෙයක් නොවුනු ගාන​ට අහස අපි එක්ක හිනා වෙනව. එ තමයි අහසෙ හැටි.......................

 

Saturday, July 16, 2011

මාව අමතක වෙලාද................

දවස හරියටම 2010 ඔක්තෝබර් 25 වෙනිද. මට අද වගේම මතකයි. අදට මාස 8යි දවස් 21ක් මට එයාව මුනගැහිල. මුල දවස්වල නම් හැමදාම මාව බලන්න ආව. එයා මාව බලන්න ආවම මට මාරම සතුටුයි. අඩුම ගානෙ දවසට පැයක් දෙකක් වත් මාත් එක්ක ගතකරන්න එයා පුරුදුවෙලා හිටිය. කොයි තරම් වැඩ තිබුනත් එක දවසක්වත් මග ඇරියෙ නෑ. 
ඒත් ටික කලක් යද්දි මාව බලන්න එන එක ටිකක් අඩු වුනා. දවසකට දෙකකට සැරයක් ඇවිත් ගියා. ඒ එයාට වැඩ වැඩි හින්ද වෙන්න ඇති කියල මම ඉවසුව. හැමදාම ආවෙ නැතත් දවසකට දෙකකට සැරයක්වත් එනව නේද කියල මම හිත හදාගත්ත. ඉක්මනටම එයාට වැඩ අඩුවෙලා ආයිත් මගේ ජීවිතයට සතුට අරන් එයි කියල මම බලාගෙන හිටිය. හරිම ආසාවෙන් බලාගෙන හිටිය.
අවාසනාවකට ඒක එහෙම වුනේ නෑ. තත්වෙ එන්න එන්නම නරක අතට හැරුන. එයාට එන්න එන්නම වැඩ වැඩිවුනා. දවසකට දෙකකට සැරයක් එන එක සතියකට සැරයක් වුනා. සතිය දෙක වුනා. මාසෙකට සැරයක් වෙලා අන්තිමට මාව අමතකම වෙලා ගිහින්.
මම හැමදාමත් මග බලාගෙන හිටිය අදවත් එයි මාව බලන්න කියල. අන්තිමටම එයා ආවෙ මැයි 12. දැන් මාස දෙකකටත් වැඩියි. කොයි තරම් වැඩ තිබුනත් අඩුමගානෙ මාසෙකට සැරයක්වත් මාව බලල යන්න එන්න බැරිකමක් නෑනෙ. පැය ගනන් ඕන නෑ. අඩුමගානෙ විනාඩි 5 කට 10 කට වත් ඇව්ත් යන්න බැරිද. 
ඉවසුව. පුළුවන් තරම් ඉවසුව. ඒත් මාස දෙකකුත් පහුවුනාම තවත් නම් ඉවසන්න බැරි වුනා. ඒ හින්දයි මෙහෙම  
ලියන්න හිතුවෙ. සමහරවිට මේක දැකල ඔයාට හොඳටම තරහ යයි. අනේ ඒත් මට වෙන කරන්නම දෙයක් නැති නිසයි, මේක කියවන ඔයාගෙ යාළුවෙක්වත් ඔයාව ආයිත් මගේ ලඟට එවයි කියල හිතල මේක ලිව්වෙ. 
අනේ කරුණාකරල ඔයාල කවුරුහරි පසන්ට කියනවද එයාගෙ බ්ලොග් එක එයා එනකන් මග බලාගෙන ඉන්නව කියල............................