Tuesday, March 1, 2011

මාසෙකට විතර පස්සෙ.........

මේ දවස්වල නහය ගාවටම වැඩ. ලෙක්චර්ස්, ප්‍රැක්ටිකල්, ප්‍රසන්ටේෂන්, ප්‍රොජෙක්ට් ආදී එකී මෙකී නොකී විවිධාකාරයේ වැඩවලට යටවෙලා ඉන්න අතරෙ බ්ලොග් එක පැත්තටත් ඔලුව දාල අදහස් ටිකක් කුරුටුගාල යන්නත් කොහොමහරි වෙලාවක් හොයාගත්ත. ඒත් ඒ හුඟක් අය කරනව වගේ මාව සින්ඩියෙන් පන්නන එකෙන් බේරෙන්න නම් නෙමෙයි.
මේ බ්ලොග් එක ලියන එක මම හරිම ආසාවෙන් කරන දෙයක්. ඒවගේම මේක මගේ අදහස් අනෙක් අයට කියන්න තියෙන හොඳම මාධ්‍යයක්. 
අපේ බ්ලොග් කියවන්න නිතරම එන පිරිසක් ඉන්නව. ඒ අය වෙනුවෙන් ලියන එක අපේ යුතුකම වගේම වගකීමක්. ඒ නිසා තමයි ඉඩක් ලැබෙන හැම වෙලාවකම බ්ලොග් එකේ පෝස්ට් එකක් දාන්නෙ. පහුගිය මාසෙ නම් මොනවත්ම ලියන්න බැරිවුනා. ඒ ගැන නම් ඔයාල හැමෝගෙන්ම සමාව ඉල්ලනව.
මේ දවස්වල ඉලෙක්ට්‍රොණික් ප්‍රොජෙක්ට් එක කරගෙන යනව.  ප්‍රොජෙක්ට් එකට ස්වයංක්‍රීය නිවසක් (Automated Home) හදනව.  USB පෝර්ට් එ‍කෙන් තමයි ඉන්ටර්ෆේස් කරන්නෙ. මේ වැඩේ කරගෙන යද්දි ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් වුනා. ඉදිරි ලිපි වලින් ඒ දේවල් ඔයාල එක්ක බෙදාගන්න බලාපොරොත්තු වෙනව.
ඒ අස්සෙ ක්‍රිකට් වසන්තයත් ඇවිත්! ලිපිය ලිව්වෙත් ශ්‍රී ලංකා, කෙන්යා මැච් එකටත් ඇහැ දාගෙන ;-) 
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ජය වේවා!

Sunday, January 23, 2011

පිය සෙනෙහස..........

ඔන්න මාසෙකට විතර පස්සෙ ආයෙමත් බ්ලොග් එකේ කුරුටු ගාන්න ඉඩක් ලැබුන. අද ලියන්න යන කතාව මට ලැබුනෙ  සුබෝධ නංගියගෙන්. පරිවර්තනය විතරයි මගෙන්.


තරුණයෙක් එයාගෙ උපාධිය ලබාගන්න සූදානම් වෙනව. මෙයා හරිම ආසාවෙන් හිටිය ලස්සන ස්පෝර්ට් කාර් එකකට. එයාගෙ තාත්තට මේක පහසුවෙන්ම අරගෙන දෙන්න පුළුවන් බව දන්න නිසාම මෙයා තමන්ගෙ මේ ආසාව ගැන තාත්තට කිව්ව. මෙයා ගොඩාක් බලාපොරොත්තු තියාගෙන හිටියෙ තාත්ත උපාධිය ලබාගන්න දවසෙ මේ ස්පෝර්ට් කාර් එක අරන් දෙයි කියල.


මෙහෙම දවස් ගෙවිල ගිහින් උපාධිය ලබාගන්න දවසත් එලඹුනා. තාත්ත උදෙන්ම පුතාට කතාකලා. මේ තරුණයත් ගොඩක් ආසාවෙන් තාත්ත ගාවට ගියේ තමන් ඉල්ලපු තෑග්ග ලබාගන්න. තාත්ත ලස්සනට ඔතපු තෑග්ගක් පුතාට දුන්න.

තරමක කලකිරීමක් ඇතිවුනත් මෙයා කුතුහලෙන් මේ තෑග්ග විවෘත්ත කරල බැලුව. ඒකෙ තිබුනෙ හම් කවරයක් දාපු ලස්සන බයිබලයක්. මේ තරුණයට හොඳටම තරහ ගිහින් බයිබලය විසිකරල දාල තාත්තට කෑගැහුව “ඔයාගේ සල්ලි ඔක්කොම වියදම් කරේ මට බයිබලයක් අරන් දෙන්නද?“ කියල. එහෙම කියල එයා තාත්ත කියන්න හදන දේටවත් කන් නොදී ගෙදරින් පිටවෙලා ගියා.

වසර ගනනාවක් ගතවෙලා ගියා. දැන් මේ තරුණයා ව්‍යාපාර අතින් ඉතා ඉහල තත්වයකට පත්වෙලා. ලස්සන නිවසකට, ලස්සන පවුල් ජීවිතයකට හිමිකම් කියන කෙනෙක්. මේ වෙද්දි එයාගෙ තාත්ත ගොඩාක් වයසට ගිහින්. එදා සිද්ධියෙන් පස්සෙ තවම පුතා තාත්තව බලන්න ගිහින් නෑ. සමහර වෙලාවට එයා හිතුව ගිහින් තාත්තව බලල එන්න. ඒත් එයා ඒ ගමන යොදාගන්න කලින් විදුලි පනිවිඩයක් ලැබුන තාත්ත මැරුන කියල. තාත්තගෙ අන්තිම කැමැත්ත අනුව සියළුම දේපල පුතාට පවරල තිබුන.


පුතාට තාත්ත හිටපු ගෙදරට යන්න වුනා අවශ්‍ය ලියකියවිලි අරගන්න. එකපාරටම එයා දැක්ක අර බයිබලය එදා එයා දාල ගිය විදියටම තාමත් තියෙනව.  එයා බයිබලය අතට අරන්  පිටු පෙරලන්න පටන්ගත්ත. 
පලවෙනි පිටුවට අමුනල ලියුම් කවරයක් තියෙනව එයා දැක්ක. ඒකෙ ලියල තිබුන “මගේ ආදරණීය පුතාට..“ කියල.


වෙව්ලන අත්වලින් එයා කවරය විවෘත්ත කරා. කාර් එකක යතුරකුයි රිසිට්පතකුයි ඒක ඇතුලෙ තියෙනව එයා දැක්ක. රිසිට්ප‍තේ සඳහන් වෙලා තිබුනෙ එයා බලාපොරොත්තුවෙන් හිටපු ස්පෝර්ට් කාර් එකේ වර්ගය. දිනය ඔහු උපාධිය ගත්ත දවස.  “මුළු මුදලම ගෙවා ඇත“ කියලත් ඒකෙ සඳහන් වෙලා තිබුන.


ඔහුට ඕනවුනා සමාව ඉල්ලන්න. ඒත් ඒකට පමා වැඩියි.......................!

Sunday, December 26, 2010

නිව්ටන්ටත් වැරදුනු තැන............?

තම තෙවන නියමයෙන්
නිවුටන් කියන්නේ
දිශාවෙන් ප්‍රතිවිරුද්ධ බවත්
විශාලත්වයෙන් සමාන බවත්
සෑම ක්‍රියාවකම ප්‍රතික්‍රියාව........


කුඩා කල සිටම 
උගත්තත් මේ තෙවන නියමය
යොදාගත්තත් කෙතරම් 
හමුවිය එක තැනක්
නිවුටන්ටත් මගහැරුනු.........


ක්‍රියාව වන විට 
ආදරය කිරීම
ප්‍රතික්‍රියාව වේ
ආදරය ලැබීම
මෙතැනදී...........


සැබෑමය දිශා ප්‍රතිවිරුද්ධ බව
එනමුදු සැලකූවිට විශාලත්වය
ක්‍රියාවට වඩා විශාල බව
ප්‍රතික්‍රියාව හැමවිටම
අවබෝධ විය මට.........


නැත වරදක් නිවුටන් අත
ඒ මනද යත්
කොතරම් වෙහෙසුවත් මනස
නොදැනේ මෙම වරද
හදවතට මිස..........


කරන විට ආදරය
ලැබේ ආපසු වැඩි වැඩිය
එහෙයින් මේ කිසිදු නියමයකට නීතියකට
යට නොවන බව ආදරය
පසක් විය මට..........

Wednesday, December 22, 2010

සීතල උඳුවප් මහේ නත්තල් උනුසුම.........

මාසයක් විතර තිස්සෙ වැහැපු වැස්ස නැවතිල ආයෙත් අහස හිනාවෙන්න පටන් අරන්. හැමෝටම ආදරය දැනෙන නත්තල අත ලඟටම ඇවිත්. අපේ කිතුනු හිතවතුන් වගේම පොඩ්ඩොත් ලහි ලහියෙ නත්තලට සූදානම් වෙනව. උඳුවප් මහේ ඇඟ හිරිවැටෙන් සීතල අතරින් නත්තල් උනුසුම දැනෙන්න පටන් අරන්. ආගම්, ජාති බේද නැතුව හැමෝම නත්තලට කැමතියි නෙ.
නත්තල් ගස්, ගව ලෙන් හැම ගෙදරකම වගේ හැදෙනව. සාප්පු සවාරි යන්නන්ගෙන් මං මාවත් පිරිල ගිහින්. මේව කරන්න කතෝලිකම වෙන්න ඔන නෑ නෙ. හැමෝම නත්තල එනකන් හරිම උනන්දුවෙනුයි බලා ඉන්නනෙ. කවුරු මොන කතා කිවුවත් අපේ මිනිස්සුන්ගෙ හිත්වල කිසිම භේදයක් නෑ කියලයි මට නම් දැනෙන්නෙ. ඇත්තටම අපිට අපි ගැන ආඩම්බර වෙන්න පුළුවන් නේද?
කැලණි සරසවියෙ කතෝලික සංගමයත් නත්තල ජයටම සමරන්න සූදානම් වෙනව. කතෝලික වන නොවන හැමොගෙම උදවුවෙන් ලස්සන වැඩකට සියල්ල සූදානම් වෙනව.