Monday, March 25, 2013

කළබලෙන්. . . . .

"කළබල උනාම කොරස් කටෙත් අත දාගන්න බෑ" කියල කතාවක් නම් තියෙනව. ඒත් අපේ හුඟදෙනෙක් පුරුදුවෙලා තියෙන්නෙ අන්තිම මොහොතෙ වැඩ කරන්නනෙ. ඉතින් කළබල නොවී කොහොමද?  අනික අර අපේ උන් කියනව වගේ එහෙම නොකලොත් කිසි ගතියක් නැහැලුනේ.

පාඩම් කරන්න ගියත් එහෙමනේ. මාස ගානක් හාල් වෙවී ඉඳල  ඉඳල විභාගෙට දවසක් තියා තමා මතක් වෙන්නෙ පාඩම් කරන්න ඕන කියල. ටියුට් කරන්න සතියක් තිබුනත් කරන්නෙ අන්තිම පැයේදි. ඇයි ප්‍රොජෙක්ට් කරද්දි අන්තිම දවස් දෙක තුනේ අවුරුද්දක වැඩ කරනවනෙ.

වෙන එකක් තියා ඊයෙ රෑ 12 ට කලින් දාන්න තිබුනු එසයින්මන්ට් එක කරල ඉවර වෙද්දි 11.45 යි. අන්තිම මොහොතෙ ගිනි පත්තුවෙලා වගේ වැඩ කරන එක දැන් පුරුද්දට ගිහින්ද මන්ද......

ඉස්කෝලෙ කාලෙත් එහෙමයි නෙ. උදේ ගියාම තමා මතක් වෙන්නෙ කරන් එන්න කියපු වැඩ ටික. ඉතින් දාගෙන කරනව උදේ පාන්දර. කැම්පස් යද්දි හිතුව එහෙදිවත් හරියට කරනව කියල. ඒත් ඉතින ටික දවසයි. ආයිත් පරණ පුරුදු ක්‍රමේම තමා. ඒත් කවදාවත්ම කරන්න තියන වැඩ අතපසු කරේ නම් නෑ. රෑ එලිවෙනකන් කරල හරි වැඩේ ගොඩදැම්ම. ඒක නිසා අව්ලක් උනේ නම් නෑ. 

අනික අන්තිම මොහොතෙ තමා පට්ට සිරා අදහස් එන්නෙ. කලින් කරන්න අරගත්තට මොලේ වැඩ නැද්ද මන්ද මෙලෝ ක්‍රමයක් හිතෙන්නෙ නැතිවුනාට අන්තිම මොහොතෙ කරනකොට නම් කරන විධි, කෙටි ක්‍රම අළුත් අදහස් ගලාගෙන එන්නෙ නිකන් වැවක් වාන් දානව වගේ.

ජොබ් එකට ගියාම නම් ක්‍රමේ ටිකක් වෙනස් වුනා. වැඩ ටික වෙලාවට කරන්න පුරුදු උනා. ඇත්තම කියන්වනම් පුරුදු උනා නෙමෙයි පුරුදු වෙන්න සිද්ධවුනා කිව්වොත් හරි. මොකද රිලීස් එකක් කට උඩ තියාගෙන් කලබලේට දාන ෆික්ස් එකක් වෙන කොහෙන්හරි පත්තුවෙලා රෑ එලි වෙනකන් කටු කන්න නොවිච්ච කෙනෙක් IT එකේ නම් ඉන්න විදියක් නෑ.

මාස්ටර් එක කරන්න පටන්ගද්දි හිතුව දැන්වත් හැදිල ඇති කියල. ඒත් ඊයෙ තේරුමිගත්ත ආයිත් පරණ  ක්‍රමේම තමයි කියල. ඒත් දැන් නම් වෙනස් වෙන්නම වෙනව. 
බලමුකො මොකද වෙන්නෙ කියල.............................

Sunday, December 23, 2012

හුඟ කලකින් නිවාඩුවක්.......................

පහුගිය ටිකේ බරටම වැඩ තිබුනනේ. බ්ලොග් එක පැත්ත බලන්නවත් බැරි උනා. සෑහෙන්න කාලෙකින් සතියක් විතර ගෙදර ඉන්න නිවාඩුවක් හම්බවුනේ. 
ඒ අස්සෙ ලෝක විනාසෙකුත් එනව කිව්වනෙ. සමහරු නම් කියන්නෙ අයහපත් කාලගුණය නිසා ලෝක විනාසෙ කල් දාල කියලයි. මායා වරුන්ට කැලැන්ඩරේ කොටන්න ඉඩ මදි නිසා නැවැත්තුවද වෙන හේතුවකට නැවැත්තුවද කියල දන්නෙ කොටපු අයම තමයි. අපේ අයට පුළුවන් ඒ ගැන මත පලකරන්න විතරයිනෙ. ඒ අස්සෙ නිවාඩු දාල ලෝක විනාසෙට කලින් ගෙවල්වල ගියපු අයත් හිටිය. 
ඒක දැන් පරණ කතාවක්නෙ. වාසනාවකට හෝ අවාසනාවකට එහෙම විනාසයක් උනේ නෑ නෙ. 
හුඟ දවසකින් අද මිගාරව සෙට් උනා ස්කයිප් එකේ. එයා දැන් නවසීලන්තෙනෙ පදිංචිය. පොර කාර් එකක් ගත්තලු ඩොලර් 800 කට. ඇඬෙනව ඇහෙද්දිත්. මෙහේ හොඳ සෙල්ලම් කාර් එකක්වත් ගන්න බෑනෙ ඒ ගානට. ;)
කොහොමහරි අවුරුද්දකුත් ගෙවිල ඉවරවෙන්න යන්නෙ. නත්තලත් ලඟම එනව. මේ අවුරුද්දෙ කරපු මෝඩ කම් අතඇරල හොඳ තව තවත් දියුණු කරගෙන ඊලඟ අවුරුද්ද පටන්ගන්නයි තියෙන්නෙ. බලමුකො මොනවද කරන්න පුළුවන් කියල...............

Sunday, September 23, 2012

සිත මුමුනන..................

සිත මුමුනන කවිය අසන්නට
හද නලවන තනුව වයන්නට
සිලි සිලියේ දොඩමළු වන්නට
ආදරියේ එනුමැන මා වෙත........

මලක් වෙලා පිපුනෙන් අතු අග
නෙලාගන්න අත දිග ඈතක
සුවඳ සිඳී යා නොදී කිසි දිනෙක
සදා රකිමි හදවතට තුරුළු කර......

පිපුනත් තරු මල් නෙක ලෙස යායට
එකම සඳකි සිඳළුවේ අඳුරු කුස
ඒ සඳ සිසිලේ මැවුව සිහින රැස
තුරුළු කරන් සඳ සාවිය එනු මැන......

හිතුමතේ කුරුටු ගෑ ජීවන ගීතය
ආදරයේ තනුවෙන් තව ඔපකර
හඬගා ගයන්න ලොවටම ඇසෙන්න
එනුමැන මා හා දිවි ඇති තුරාම.........

Saturday, June 30, 2012

හුඟ දවසකින් . . . . . . . .

සෑහෙන්න දවසකින් බ්ලොග් එක පැත්තෙ එන්නත් බැරිවුනානෙ. ඉතින් ඔන්න ආයෙත් බ්ලොග් එකේ කුරුටුගාල යන්න මේ පැත්තට ආව. කියන්න විස්තර නම් ගොඩක් තියනව. ඒත් කොහෙන් පටන් අරගෙන මොනව ලියන්නද කියල හිතාගන්නත් බෑ.
ජීවිතෙත් වෙලාවකට හරිම පුදුමයි. අපි හිතන පතන විදිහටම හැමදේම සිද්ධවෙන්නෙ නෑ. ඒත් හැමදේම සිද්ධවෙන්නේ මොකක්හරි හේතුවකට කියලයි මම නම් හිතන්නෙ. අපි බලාපොරොත්තුවෙච්ච දේවල් ඒ විදියටම ඉටු නොවුනම අපි දුක් වෙනව කලකිරෙනව තමයි. ඒත් ටික කලක් ගියාමයි තේරෙන්නෙ එහෙම උන එක කොයිතරම් හොඳයිද කියල. “හැමදේම වෙන්නෙ හොඳටයි“ කියන කියමන ඇත්තයි කියල හිතෙන්නෙ ඒ වෙලාවට තමයි
හැම දේටම එහෙම හිතන්න පුළුවන් නම් අපිට ඇතිවෙන තැවුල් අවුල් ගොඩක් නැතිකරගන්න පුළුවන්. මොකද ජීවිතේ වැදගත්ම දේ සතුට මිසක් සල්ලි වත් වෙනත් දෙයක්වත් නොවන නිසා.
නොලැබිච්ච දෙයක් ගැන හිත හිත දුක්වෙන වෙලාව ආයිත් අපිට ගන්න බෑ නෙ. අපි විනාඩියක් දුකෙන් ඉන්නව කියන්කෙ සතුටෙන ඉන්න තියන විනාඩියක් නැතිකරගත්ත කියන එකයි. ඒ නිසා පුළුවන් හැම වෙලේම සතුටෙන් ඉන්න බලන්න. පුළුවන් නම් ඔයා වටේ ඉන්න අයවත් සතුටෙන් තියන්න.
තවත් කෙනෙකුගෙ මූනට හිනාවක් දෙන එක තරම් තවත් සතුටක් මම නම් දන්නෙ නෑ.