Saturday, December 24, 2011

බ්රව්සරේට හිම.......................

 එක එක කාලෙට කාලේ තාලෙට අදාල වෙන විදියට අමුතු අමුතු දේවල් ගූගල් එකේ දැකගන්න පුළුවන්නෙ. මේ මම කියන්න යන්නෙ නත්තල වෙනුවෙන් ගූගල් එකෙන් කරපු වැඩක් ගැන. මේක දාල නම් දැන් ටික දවසක්. මට කිවුවෙත් අපේ දිමුතු තමා. ඔයාලටත් කියන්න කියල හිතාගෙන හිටියත් වෙලාවක් උනේ නෑ නෙ. කමක් නෑ, දැන් හරි කිවුවනෙ නේද ;)
කරන්න තියෙන්නෙ සුළු දෙයක්. ගූගල් එකට ගිහින් (www.google.lk or www.google.com) ඒකෙ Let it snow කියල ටයිප් කරල සර්ච් කරන්නකො. එතකොට ඔයාගෙ බ්රවුසරේටත් හිම වැටෙයි මගේ එකට වැටුන වගේ.

හැමෝටම සුභ නත්තලක් වේවා!

Sunday, December 18, 2011

මූණුපොත හොරු ගනීද?

මූණුපොත එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්න ෆේස්බුක් එක හැකර් කරුවන්ගෙත් ස්පෑම් කරන්නන්ගෙත් තෝතැන්නක් බවට පත්වෙලා. තමන්ගෙ ඉතා වැදගත් පෞද්ගලික තොරතුරු පවා ෆේස්බුක් ගිනුමෙ ඇතුලත් කරන අය ඉන්න නිසා තත්වය ඉතා දරුණු වෙලා. මේ නිසාමයි අපගේ තොරතුරු ආරක්ෂා කරගැනීමට විවිධ ආරක්ෂක පුර්වෝපායන් ෆේස්බුක් මගින් හඳුන්වාදීල තියෙන්නෙ. 
Privacy Settings ගැන නම් දැන් හුඟක් දෙනා දැනුවත්. ඒත් දැන් ඒක විතරක්ම ප්‍රමාණවත් නොවන තත්වයකට පත්වෙම්න් තියෙන්නෙ. වෙබ් බ්‍රව්සරය හා ෆේස්බුක් සර්වර් අතර හුවමාරු වන දත්ත ග්‍රහණය කරගැනීම මගින් අපගේ තොරතුරු තුන්වන පාර්ශවයක් අතට පත්විය හැකියි. මෙය වලක්වාගන්න ක්‍රමයකුත් ෆේස්බුක් මගින් ලබාදීල තියනව. ඒ https ආරක්ෂිත දත්ත හුවමාරුවක් සැලසීම මගින්. නමුත් මෙය සාමාන්‍යයෙන් සක්‍රීය කර නැහැ. අපට අවශ්‍ය නම් මෙය සක්‍රීය කරගන්න පුළුවන්. 
ඔබේ ෆේස්බුක් ගිනුමට ඇතුල්වූවිට එහි ලිපිනය පෙන්වන්නේ මෙලෙස නම් ඔබ ආරක්ෂාකාරී නැහැ.
සක්‍රීය කරගැනීමට අවශ්‍ය නම් මුලින්ම Account Settings වෙත යායුතුයි. ෆේස්බුක් පිටුවේ දකුණුපස ඉහල කෙලවරේ ඇති පහලට යොමුවුන ඊ හිස මත ක්ලික් කලවිට ලැබෙන මෙනුවෙන් Account Settings වෙත යා හැක. 
ලැබෙන පිටුවෙහි වම්පස ඉහල ඇති ලිස්ට් එකෙන් Security යන්න තෝරාගන්න. එවිට පහත පරිදි පිටුවක් ලැබේ. 
මෙහි Secure Browsing ඉදිරියේ ඇති Edit මත ක්ලික් කලවිට ඊට අදාල සැකසුම් දැකගත හැක.

Browse Facebook on secure connection (https) when possible ඉදිරියෙන් ඇති චෙක් බොක්ස්  එක මත ක්ලික් කර එය සක්‍රීය කර Save Changes බොත්තම මත ක්ලික් කරන්න. දැන් ඔබේ ෆේස්බුක් ගිනුම හැකි සෑමවිටම https ප්‍රොටෝකෝලය භාවිතා කරනු ඇත. දැන් ඔබේ ගිනුමට ඇතුලු වූ විට එහි ලිපිනය මෙලෙස දැකගත හැක.
 මීට අමතරව අපගේ ගිනුමට සිදුකරන අනවසර පිවිසුම් පිලිබඳව දැනුවත්වීමට අවශ්‍ය නම් Login Notification ඉදිරියේ ඇති Edit මත ක්ලික් කර අවශ්‍ය තේරීම් සිදුකර Save Changes බොත්තම මත ක්ලික් කරන්න.
ඔබගේ තේරීම අනූව ඊ මේලයක් මගින් හා/හෝ sms මගින් ඔබගේ ෆේස්බුක් ගිනුමට සිදුවන පිවිසුම් පිලිබඳ ඔබව දැනුවත් කරනු ඇත.

Sunday, December 11, 2011

වින්ඩෝස් වල ලිනක්ස්...........

ලංකාවෙ වැඩිදෙනෙක් පුරුදුවෙලා තියෙන්නෙ වින්ඩෝස් වලට. වැඩිපුර භාවිතා කරන්නෙත් වින්ඩෝස් කිවුවොත් හැමෝම ඒකට එකඟවෙයි. ඒකට හේතුව තමයි භාවිතයට පහසු වීම.ඒත් දැන් බොහෝ පිරිසක් ලිනක්ස් මත පදනම් වු උබුන්ටු, කුබුන්ටු, ෆෙඩෝරා වැනි මෙහෙයුම් පද්ධති භාවිතයට යොමුවෙලා තියෙනව. මේ මෙහෙයුම් පද්ධති දෙකම තමන්ගෙ පරිගණකයේ ස්ථාපිත කරගෙන දෙකෙන්ම වැඩ ගන්න අයත් ඉන්නව. තවත් පිරිසක් ඉන්නව ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරන්න කැමති ඒත් එකපාරටම ලිනක්ස් වලට මාරුවෙන්න අකමැති. එහෙම අය වැඩිදෙනෙක් කරන්නෙ virtual box හරි vmware හරි මගින් වින්ඩෝස් ඇතුලෙම ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් දාගන්න එක.
 ලිනක්ස් වල බලසම්න්න කම දැනෙන්න නම් ටර්මිනල් එකේ වැඩකරල බලන්න ඕන. සර්වර් මෙහෙයුම් පද්ධතියක් විදියට ලිනක්ස් ඉන්න තැනට වින්ඩෝස් වලට එන්න බැරිවෙලා තියෙන්නෙ ඒ නිසයි. ඒ නිසයි වින්ඩෝස් වලටත් power shell කියල කමාන්ඩ් ලයින් ටූල් එකක් හදන්නෙ. 
 ඒත් මම කියන්න යන්නෙ ඒ ගැන නෙමෙයි. වින්ඩෝස් වල ඉඳගෙනම ලිනක්ස් ටර්මිනලයෙන් වැඩ ගන්න ක්‍රමයක් ගැන. මේ ගැන මම හොයන්න පටන්ගත්තෙ මට වින්ඩෝස් වල ඉඳන් ලිනක්ස් විධාන භාවිතා කරන්න අවශ්‍යතාව තදින්ම දැනුනු නිසා. cygwin තමා ටූල් එක. ඒක වින්ඩෝස් වෙනුවෙන්ම සකස්වුනු ලිනක්ස් ආරට යන වැඩසටහනක්. විශේෂත්වය වෙන්නෙ මේක නිදහස් විවෘත්ත මෘදුකාංගයක්. Cygnus Solutions මගින් මුලින් නිර්මාණය කලත් පස්සෙ Red Hat විසින් එම සමාගම මිලදීගෙන. දැන් cygwin පවත්වාගෙන යන්නෙ Red Hat සමාගම විසින්.


  http://www.cygwin.com වෙබ් අඩවියට ගිහින් cygwin ඩවුන්ලොඩ් කරගන්නත් වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. ලිනක්ස් කමාන්ඩ්ස් ඉගෙනගන්න ආසාවෙන් ඉන්න අයට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල හිතනව. වැඩි විස්තර ඕන නම් කියන්න. ඕන අය ඉන්නවනම් මම cygwin ස්ථාපනය කරගෙන භාවිතා කරන හැටි ඉදිරි ලිපිකින් කියන්නම්කො.

Saturday, December 3, 2011

ජීවිතේ නව මගක...................

මුලින්ම පෙර පාසලේ. ඊට පස්සෙ ප්‍රාථමික අධ්‍යාපනය මාතර ඕල්කට් ආදර්ශ විදුහලෙන්. ශිෂ්‍යත්ව කඩුල්ලෙන් පස්සෙ මාතර සාන්ත තෝමස් කුමර විදුහලට. සා. පෙළ, උ.පෙළ කඩුළු පැනගෙන අන්තිමට නැවතුනේ කැළණි විශ්ව විද්‍යාලයේ භොතීය විද්‍යා අංශයේ. පොඩි කාලෙ ඉඳන්ම ආසාව තිබුනෙ ඉලෙක්ට්‍රොණික් වලට. බැටරි, වයර් කෑලි අරගෙන එක එක දේවල් හදන එක ඒකාලෙ ඉඳන්ම කලා. (ඒකනේ ගෙදර තිබුනු හුඟක් විදුලි උපකරණ වීසිකරන්න සිද්ධවුනේ) ඕ ලෙවල් කරන කාලෙ තමා පරිගණකයට හිත යන්නෙ.
වාසනාවකට කැම්පස් එකේදි මේ කැමතිම විශයන් දෙකම ඉගෙනගන්න අවස්ථාව ලැබුන. මේ කාලෙදිමයි ස්වාධින වෙබ් අඩවි නිර්මාණකරුවෙක් විදියට වැඩ පටන්ගන්නෙ. කැම්පස් ඉන්න කාලෙ ඇතුලත පරිගණකයත් එක්ක ගොඩක් දුර යන්න පුළුවන් උනා. ඒ කාලෙ යාළුවො කියන්නෙ පසන ලැප් එකත් එක්ක ගොඩ ගිහින් කියල. දැන් නම් එහෙම කියන්න බෑනෙ ;)
මේ අවුරුද්දෙ නොවැම්බර් 9 න් කැම්පස් ජීවිතෙත් අවසන්. ශිෂ්‍යයෙක් විදියට ගතකරපු ජීවිතය ඒ විදියට ගෙවිල යද්දි වෘත්තීය ජීවිතේ අරඹන්න ඔනනේ. 
ලංකාවෙ දැවැන්ත මෘදුකාංග සංවර්ධන ආයතනයනට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුන. නොවැම්බර් 18 ඉඳන් එතන වැඩ. මට පැවරිලා තියෙන්නෙ Windows Phone 7 වැඩසටහන් කීපයක් නිර්මාණය කරන්න. 

දැන් ඉතින් ජීවිතය ගෙවෙන්නෙ ඒව එක්ක............. 


Saturday, October 29, 2011

අකුරු..............

ඊයෙ අපේ අයියගෙ උපන්දිනේ නිසා මමත් ගෙදර ඇවිත් යන්න ආවා. අද ආපහු යන්න හිතාගෙන හිටියත් ටිකක් අසනීප ගතියකුත් තියන නිසා හෙටම යනව කියල හිතුව. උදේ ඉඳන් ඔහේ කැරකි කැරකි ඉන්නකොට හිතුන බ්ලොග් එක පැත්තෙ ඇවිත් මොනවහරි කුරුටු ගෑවොත් හොඳයි කියල.
ඒත් මොනවද දැන් ලියන්නෙ? ඉතාමත්ම වැදගත් ප්‍රශ්ණයක්. නිකන් ආවට ගියාට මොනාහරි ලියලත් බෑ නෙ.
හරි............ මතක් උනා කතාවක් හුඟ දවසක ඉඳන් කියන්න හිතාගෙන හිටියත් කියන්න අමතක වෙච්ච.  මේක මේ කොච්චියේ යද්දි දැකපු දෙයක්. හවස රාගම, කැළණිය පැත්තෙ ඉඳන් කොටුව පැත්තට යනවනම් ඔයත් මේක දැකල ඇති.

මම දවසක් ගෙදර එන්න කැළණිය ස්ටේසමෙන් කොටුවට එන කොච්චියකට නැග්ග. ඒතරම්ම සෙනග හිටියෙත් නෑ කොච්චියේ. මාත් ඉඳගෙන එහෙම වට පිට බලද්දි හරි අපූරු දෙයක් දැකගන්න ලැබුන.
අවුරුදු 18ක 20ක වගේ කියන්න පුළුවන් පිරිමි ලමයෙක් ඉන්නව දොර කිට්ටුව තියන සීට් එකක. පෙනුමෙන් නම් කුලී වැඩ කරන කෙනෙක් වගේ. (මට සමාවෙන්න එහෙම නෙවෙයි නම්) එයා පොතකුයි පෑන් පැන්සල් තියාගෙන බර වැඩක්. මමත් ටිකක් විපරම් කලා. බලද්දි එයා අකුරු ලියනව.
මුලින්ම ගන්නව රතු පෑන අතට. අරගෙන ලියනව අකුරක්. ඊට පස්සෙ රතු පෑන පැත්තකින් තියල පැන්සල අරගෙන් ලියනව අර අකුර පේලියක්ම. ඊලඟට නිල් පෑනෙන් කළු පෑනෙන් පේලිය බැගින් ලියනව.
මේ අතරෙ දෙමටගොඩින් නගින පිරිමි ලමයි ටිකක් දොර ගාවට වෙලා ඉන්නව. "අයින් වෙන්න! අයින් වෙන්න! පොතට කළුවරයි " කොල්ලො ටිකට පුංචි ගෝරනාඩුවක්. කොල්ලො ටික එහාට මෙහාට කරල ආයිත් වැඩේ පටන් ගන්නව.
පිටුව පිරෙන්නම ලියල ඉවරවෙලා බොහොම ජයග්‍රාහී හිනාවක් එක්ක වටපිට බලනකොට එයා දැක්ක මම එයා දිහා  බලාගෙන ඉන්නව කියල. මමත් පුංචි හිනාවක් දැම්ම. එතකොට කොච්චිය මරදානට කිට්ටු වෙලා. එයා පෑන් පැන්සල් ටික බෑග් එකට දාගෙන පොතත් අරන් ආව මගේ ලඟට. පොත මගේ දිහාට දික් කරල "මේ...." කිව්ව. මමත් පොත අරන් බලල "හොඳයිනේ..." කිව්ව. මූනෙ හිනාවක් පුරෝගෙන එයා බැහැල යන දිහා මම බලාගෙන හිටිය.
ඒ සිද්ධිය එතනින ඉවර වුනත්  ඒ මතකය නම් මගේ හිතින් මැකිල ගියේ නෑ. මාතරට එනකන්ම මම ඒ ගැන කල්පනා කලා. ඇත්තටම එයාට අකුරු ඉගනගන්න තියන ආසාවට මෙහෙම කරනවද එහෙමත් නැත්නම් මානසික රොගයක්වත්ද කියල මම කල්පනා කලා.


හේතුව පලවෙනි එක නම් කොයිතරම් හොඳද...................

Tuesday, October 25, 2011

වසරක් ආ මග..........................

හැක් කරපු ෆේස්බුක් ගිනුමක් නිසා ඇරඹුනු මගේ සිංහල බ්ලොග් කරණයට අදට හරියටම අවුරුද්දක්. අද වෙද්දි 15947 වාරයක් බ්ලොග් එක කියවල. මගේ ලිපි 18 ට ඔබේ අදහස් 66 ක් එකතුවෙලා. මේ දක්වා  මාව ගෙනාවෙ ඔයයි. ඔයාල මගේ අදහස් කියවන නිසයි තව තවත් ලියන්න හිතෙන්නෙ. ලියන ලිපිය යටින් ඔයාගෙ අදහසකුත් තියනව දකින එක තරම් තවත් සතුටක් බ්ලොග් කරුවෙකුට නැහැ. 
මේ ගෙවෙන්නෙ මගේ සරසවි දිවියෙ අවසන් දින කීපය. ප්‍රොජෙක්ට වල වැඩ වලට සෑහෙන්න මහන්සි වෙන්න වුනා. පහුගිය මාස දෙක තුනේ බ්ලොග් එක පැත්තවත් බලන්න බැරිවුනේ ඒ නිසයි. ඒත් ඉතින් බ්ලොග් එකට අවුරුද්දක් පිරෙන දවස නිකන්ම අතැරල දාන්නත් බෑනෙ. 
ඔයාට බොහොම ස්තූතියි වසරක් පුරාවට මගේ අදහස් කියෙවුවට. ඉස්සරහටත් ඔයා මාත් එක්ක ඉන්නව කියල මම හොඳටම දන්නව. 
මේ මල් මිට මෙතෙක් දුර මා සමගින් ආ ඔයාටයි!!!!

Monday, July 25, 2011

අහස......


අහස හරිම පුදුමාකාරයි. වෙලාවකට ලස්සනට හිනාවෙනව. බලා ඉන්න හරිම ආසයි. තවත් වෙලාවකට හොඳටම දුක හිතිල වගේ අඬන්න ඈස් බර කරන් බලන් ඉන්නව. එහෙම ඉන්න බැරිවෙනකොට කඳුළු කැට කඩා හැලෙනව. සමහර වෙලාව​ට ඒ කඳුළු වලින් අපි යටවෙලා යන තරමට අහස අඬනව. තවත් වෙලාවකට අහස හරිම දරුණු වෙනව. හෙන හඬ නගල, ගර්ජනා කරල අපිව බය කරනව. ටික වෙලාවකින් ආයිත් සන්සුන් වෙලා මොනවත් නොවුනු ගානට හිනා වෙනව.

අහස හිනා වෙනකොට හැමෝගෙම හිත් සතුටින් පිරෙනව. ඒ අහසෙ හිනාව, අහස යට ඉන්න අපේ හිත් වලටත් කාන්දු වෙන නිසා කියලයි ම​ට හි​තෙන්නෙ. මම අහස​ට මේ තරම් ආදරය කරන්නෙ ඒ නිසයි.

අහස දුකෙන් බරවෙලා තියනකොට එහෙමත් නැත්නම් ඉකි ගගහ අඬනකොට අහස යටට වෙලා අහස දිහා බලා ඉන්න අපිටත් කොයි තරම් දුකයිද.  ඒත් මේ මහ පොලව සරු කරන්න නම්, අපිට ජීවය දෙන්න නම් අහසට අඬන්නම ඕන. අහස හෙලන ඒ ආදරය පිරිච්ච කඳුළුකැට ​නැත්නම් මේ හැම දෙයක්ම වේලිලා ඉරි තලල යයි.

තරහ ගියාම නම් අහස ගොඩාක් දරුණුයි.  බලන්න බය හිතෙන තරමට දරුණුයි. ඒ වෙලාවට නම් අපිට කරන්න පුළුවන් අහස සන්සුන් වෙනකන් බලාඉන්න එක විතරයි.

 අහසත් මහ පොලව වගේම හැමදේම උහුලනව. ඒත් අහසට මහ පොලව තරම් ඉවසන්න නම් බෑ. ඒකයි ටිකක් බර වැඩිවුනු ගමන් නිකන්ම කඩාහැලෙන්නෙ. 

කොයි තරම් දුක හිතුනත්, තරහ ගියත් ටික වෙලාවකින් ඒ කිසි දෙයක් නොවුනු ගාන​ට අහස අපි එක්ක හිනා වෙනව. එ තමයි අහසෙ හැටි.......................

 

Saturday, July 16, 2011

මාව අමතක වෙලාද................

දවස හරියටම 2010 ඔක්තෝබර් 25 වෙනිද. මට අද වගේම මතකයි. අදට මාස 8යි දවස් 21ක් මට එයාව මුනගැහිල. මුල දවස්වල නම් හැමදාම මාව බලන්න ආව. එයා මාව බලන්න ආවම මට මාරම සතුටුයි. අඩුම ගානෙ දවසට පැයක් දෙකක් වත් මාත් එක්ක ගතකරන්න එයා පුරුදුවෙලා හිටිය. කොයි තරම් වැඩ තිබුනත් එක දවසක්වත් මග ඇරියෙ නෑ. 
ඒත් ටික කලක් යද්දි මාව බලන්න එන එක ටිකක් අඩු වුනා. දවසකට දෙකකට සැරයක් ඇවිත් ගියා. ඒ එයාට වැඩ වැඩි හින්ද වෙන්න ඇති කියල මම ඉවසුව. හැමදාම ආවෙ නැතත් දවසකට දෙකකට සැරයක්වත් එනව නේද කියල මම හිත හදාගත්ත. ඉක්මනටම එයාට වැඩ අඩුවෙලා ආයිත් මගේ ජීවිතයට සතුට අරන් එයි කියල මම බලාගෙන හිටිය. හරිම ආසාවෙන් බලාගෙන හිටිය.
අවාසනාවකට ඒක එහෙම වුනේ නෑ. තත්වෙ එන්න එන්නම නරක අතට හැරුන. එයාට එන්න එන්නම වැඩ වැඩිවුනා. දවසකට දෙකකට සැරයක් එන එක සතියකට සැරයක් වුනා. සතිය දෙක වුනා. මාසෙකට සැරයක් වෙලා අන්තිමට මාව අමතකම වෙලා ගිහින්.
මම හැමදාමත් මග බලාගෙන හිටිය අදවත් එයි මාව බලන්න කියල. අන්තිමටම එයා ආවෙ මැයි 12. දැන් මාස දෙකකටත් වැඩියි. කොයි තරම් වැඩ තිබුනත් අඩුමගානෙ මාසෙකට සැරයක්වත් මාව බලල යන්න එන්න බැරිකමක් නෑනෙ. පැය ගනන් ඕන නෑ. අඩුමගානෙ විනාඩි 5 කට 10 කට වත් ඇව්ත් යන්න බැරිද. 
ඉවසුව. පුළුවන් තරම් ඉවසුව. ඒත් මාස දෙකකුත් පහුවුනාම තවත් නම් ඉවසන්න බැරි වුනා. ඒ හින්දයි මෙහෙම  
ලියන්න හිතුවෙ. සමහරවිට මේක දැකල ඔයාට හොඳටම තරහ යයි. අනේ ඒත් මට වෙන කරන්නම දෙයක් නැති නිසයි, මේක කියවන ඔයාගෙ යාළුවෙක්වත් ඔයාව ආයිත් මගේ ලඟට එවයි කියල හිතල මේක ලිව්වෙ. 
අනේ කරුණාකරල ඔයාල කවුරුහරි පසන්ට කියනවද එයාගෙ බ්ලොග් එක එයා එනකන් මග බලාගෙන ඉන්නව කියල............................

Thursday, May 12, 2011

මොබයිල් එකෙන් සිංහල..........

ඔන්න ඉතින් විභාගෙත් ඉවරයි.  ඒ හින්ද බ්ලොග් එකේ  කුරුටුගාන්න ඉස්පාසුවක් ලැබුන. අද මම කියන්න යන්නෙ මොබයිල් එකෙන් සිංහල කියවන්න ක්‍රමයක්. මේ ක්‍රමය වඩාත්ම වැදගත් වෙන්නෙ ජාවා මොබයිල් පාවිච්චි කරන අයට තමා. 
හුඟක් අය මොබයිල් එකෙන් අන්තර්ජාලයේ සැරිසරන්න භාවිතා කරන්නෙ ඔපෙරා මිනි බ්රවුසර් එකනෙ. යන එන අතරමගදි ඒක සෑහෙන්න ලොකු වාසියක්. ඒත් සිංහල කියවන්න තිබුන ලොකුම බාධාව තමයි මොබයිල්එ‍කේ  යුනිකොඩ් නොමැතිවීම. ඒකට විසඳුමක් තමා මේ කියන්න හදන්නෙ.


මේක කරන්න කලින් මොබයිල් එකෙන් මගේ බ්ලොග් එකට ගියාම පෙන්නන්නෙ මෙහෙමයි.
කොහොමද මේක හදාගන්නෙ? 


කරන්න ඕනෙ බොහොම පොඩි දෙයයි. ඔපෙරා මිනි බ්රවුසර්එකේ ඇඩ්‍රස් බාර් එකේ config: කියල ටයිප් කරල ඕකේ කරන්න. 
 එතකොට මේවගේ තිරයක් ලැබෙයි.

ඒකෙ පහලටම ගියාම තියෙනව Use bitmap fonts for complex scripts කියල එකක්. ඒකෙ ඉස්සරහ තියන ලිස්ට් එකෙන් Yes කියන එක තෝරල Save බොත්තම ක්ලික් කලා නම් හරි. 
 දැන් මොබයිල් එකෙන් මගේ බ්ලොග් එකට ගියාම මෙහෙම සිංහල කියවන්න පුළුවන්.
හල්කිරීමෙ එහෙම පොඩි අවුලක් තියෙනව. ඒත් බොහෝ දුරට වැඩේ සාර්ථකයි

Tuesday, March 1, 2011

මාසෙකට විතර පස්සෙ.........

මේ දවස්වල නහය ගාවටම වැඩ. ලෙක්චර්ස්, ප්‍රැක්ටිකල්, ප්‍රසන්ටේෂන්, ප්‍රොජෙක්ට් ආදී එකී මෙකී නොකී විවිධාකාරයේ වැඩවලට යටවෙලා ඉන්න අතරෙ බ්ලොග් එක පැත්තටත් ඔලුව දාල අදහස් ටිකක් කුරුටුගාල යන්නත් කොහොමහරි වෙලාවක් හොයාගත්ත. ඒත් ඒ හුඟක් අය කරනව වගේ මාව සින්ඩියෙන් පන්නන එකෙන් බේරෙන්න නම් නෙමෙයි.
මේ බ්ලොග් එක ලියන එක මම හරිම ආසාවෙන් කරන දෙයක්. ඒවගේම මේක මගේ අදහස් අනෙක් අයට කියන්න තියෙන හොඳම මාධ්‍යයක්. 
අපේ බ්ලොග් කියවන්න නිතරම එන පිරිසක් ඉන්නව. ඒ අය වෙනුවෙන් ලියන එක අපේ යුතුකම වගේම වගකීමක්. ඒ නිසා තමයි ඉඩක් ලැබෙන හැම වෙලාවකම බ්ලොග් එකේ පෝස්ට් එකක් දාන්නෙ. පහුගිය මාසෙ නම් මොනවත්ම ලියන්න බැරිවුනා. ඒ ගැන නම් ඔයාල හැමෝගෙන්ම සමාව ඉල්ලනව.
මේ දවස්වල ඉලෙක්ට්‍රොණික් ප්‍රොජෙක්ට් එක කරගෙන යනව.  ප්‍රොජෙක්ට් එකට ස්වයංක්‍රීය නිවසක් (Automated Home) හදනව.  USB පෝර්ට් එ‍කෙන් තමයි ඉන්ටර්ෆේස් කරන්නෙ. මේ වැඩේ කරගෙන යද්දි ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් වුනා. ඉදිරි ලිපි වලින් ඒ දේවල් ඔයාල එක්ක බෙදාගන්න බලාපොරොත්තු වෙනව.
ඒ අස්සෙ ක්‍රිකට් වසන්තයත් ඇවිත්! ලිපිය ලිව්වෙත් ශ්‍රී ලංකා, කෙන්යා මැච් එකටත් ඇහැ දාගෙන ;-) 
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ජය වේවා!

Sunday, January 23, 2011

පිය සෙනෙහස..........

ඔන්න මාසෙකට විතර පස්සෙ ආයෙමත් බ්ලොග් එකේ කුරුටු ගාන්න ඉඩක් ලැබුන. අද ලියන්න යන කතාව මට ලැබුනෙ  සුබෝධ නංගියගෙන්. පරිවර්තනය විතරයි මගෙන්.


තරුණයෙක් එයාගෙ උපාධිය ලබාගන්න සූදානම් වෙනව. මෙයා හරිම ආසාවෙන් හිටිය ලස්සන ස්පෝර්ට් කාර් එකකට. එයාගෙ තාත්තට මේක පහසුවෙන්ම අරගෙන දෙන්න පුළුවන් බව දන්න නිසාම මෙයා තමන්ගෙ මේ ආසාව ගැන තාත්තට කිව්ව. මෙයා ගොඩාක් බලාපොරොත්තු තියාගෙන හිටියෙ තාත්ත උපාධිය ලබාගන්න දවසෙ මේ ස්පෝර්ට් කාර් එක අරන් දෙයි කියල.


මෙහෙම දවස් ගෙවිල ගිහින් උපාධිය ලබාගන්න දවසත් එලඹුනා. තාත්ත උදෙන්ම පුතාට කතාකලා. මේ තරුණයත් ගොඩක් ආසාවෙන් තාත්ත ගාවට ගියේ තමන් ඉල්ලපු තෑග්ග ලබාගන්න. තාත්ත ලස්සනට ඔතපු තෑග්ගක් පුතාට දුන්න.

තරමක කලකිරීමක් ඇතිවුනත් මෙයා කුතුහලෙන් මේ තෑග්ග විවෘත්ත කරල බැලුව. ඒකෙ තිබුනෙ හම් කවරයක් දාපු ලස්සන බයිබලයක්. මේ තරුණයට හොඳටම තරහ ගිහින් බයිබලය විසිකරල දාල තාත්තට කෑගැහුව “ඔයාගේ සල්ලි ඔක්කොම වියදම් කරේ මට බයිබලයක් අරන් දෙන්නද?“ කියල. එහෙම කියල එයා තාත්ත කියන්න හදන දේටවත් කන් නොදී ගෙදරින් පිටවෙලා ගියා.

වසර ගනනාවක් ගතවෙලා ගියා. දැන් මේ තරුණයා ව්‍යාපාර අතින් ඉතා ඉහල තත්වයකට පත්වෙලා. ලස්සන නිවසකට, ලස්සන පවුල් ජීවිතයකට හිමිකම් කියන කෙනෙක්. මේ වෙද්දි එයාගෙ තාත්ත ගොඩාක් වයසට ගිහින්. එදා සිද්ධියෙන් පස්සෙ තවම පුතා තාත්තව බලන්න ගිහින් නෑ. සමහර වෙලාවට එයා හිතුව ගිහින් තාත්තව බලල එන්න. ඒත් එයා ඒ ගමන යොදාගන්න කලින් විදුලි පනිවිඩයක් ලැබුන තාත්ත මැරුන කියල. තාත්තගෙ අන්තිම කැමැත්ත අනුව සියළුම දේපල පුතාට පවරල තිබුන.


පුතාට තාත්ත හිටපු ගෙදරට යන්න වුනා අවශ්‍ය ලියකියවිලි අරගන්න. එකපාරටම එයා දැක්ක අර බයිබලය එදා එයා දාල ගිය විදියටම තාමත් තියෙනව.  එයා බයිබලය අතට අරන්  පිටු පෙරලන්න පටන්ගත්ත. 
පලවෙනි පිටුවට අමුනල ලියුම් කවරයක් තියෙනව එයා දැක්ක. ඒකෙ ලියල තිබුන “මගේ ආදරණීය පුතාට..“ කියල.


වෙව්ලන අත්වලින් එයා කවරය විවෘත්ත කරා. කාර් එකක යතුරකුයි රිසිට්පතකුයි ඒක ඇතුලෙ තියෙනව එයා දැක්ක. රිසිට්ප‍තේ සඳහන් වෙලා තිබුනෙ එයා බලාපොරොත්තුවෙන් හිටපු ස්පෝර්ට් කාර් එකේ වර්ගය. දිනය ඔහු උපාධිය ගත්ත දවස.  “මුළු මුදලම ගෙවා ඇත“ කියලත් ඒකෙ සඳහන් වෙලා තිබුන.


ඔහුට ඕනවුනා සමාව ඉල්ලන්න. ඒත් ඒකට පමා වැඩියි.......................!