Saturday, October 29, 2011

අකුරු..............

ඊයෙ අපේ අයියගෙ උපන්දිනේ නිසා මමත් ගෙදර ඇවිත් යන්න ආවා. අද ආපහු යන්න හිතාගෙන හිටියත් ටිකක් අසනීප ගතියකුත් තියන නිසා හෙටම යනව කියල හිතුව. උදේ ඉඳන් ඔහේ කැරකි කැරකි ඉන්නකොට හිතුන බ්ලොග් එක පැත්තෙ ඇවිත් මොනවහරි කුරුටු ගෑවොත් හොඳයි කියල.
ඒත් මොනවද දැන් ලියන්නෙ? ඉතාමත්ම වැදගත් ප්‍රශ්ණයක්. නිකන් ආවට ගියාට මොනාහරි ලියලත් බෑ නෙ.
හරි............ මතක් උනා කතාවක් හුඟ දවසක ඉඳන් කියන්න හිතාගෙන හිටියත් කියන්න අමතක වෙච්ච.  මේක මේ කොච්චියේ යද්දි දැකපු දෙයක්. හවස රාගම, කැළණිය පැත්තෙ ඉඳන් කොටුව පැත්තට යනවනම් ඔයත් මේක දැකල ඇති.

මම දවසක් ගෙදර එන්න කැළණිය ස්ටේසමෙන් කොටුවට එන කොච්චියකට නැග්ග. ඒතරම්ම සෙනග හිටියෙත් නෑ කොච්චියේ. මාත් ඉඳගෙන එහෙම වට පිට බලද්දි හරි අපූරු දෙයක් දැකගන්න ලැබුන.
අවුරුදු 18ක 20ක වගේ කියන්න පුළුවන් පිරිමි ලමයෙක් ඉන්නව දොර කිට්ටුව තියන සීට් එකක. පෙනුමෙන් නම් කුලී වැඩ කරන කෙනෙක් වගේ. (මට සමාවෙන්න එහෙම නෙවෙයි නම්) එයා පොතකුයි පෑන් පැන්සල් තියාගෙන බර වැඩක්. මමත් ටිකක් විපරම් කලා. බලද්දි එයා අකුරු ලියනව.
මුලින්ම ගන්නව රතු පෑන අතට. අරගෙන ලියනව අකුරක්. ඊට පස්සෙ රතු පෑන පැත්තකින් තියල පැන්සල අරගෙන් ලියනව අර අකුර පේලියක්ම. ඊලඟට නිල් පෑනෙන් කළු පෑනෙන් පේලිය බැගින් ලියනව.
මේ අතරෙ දෙමටගොඩින් නගින පිරිමි ලමයි ටිකක් දොර ගාවට වෙලා ඉන්නව. "අයින් වෙන්න! අයින් වෙන්න! පොතට කළුවරයි " කොල්ලො ටිකට පුංචි ගෝරනාඩුවක්. කොල්ලො ටික එහාට මෙහාට කරල ආයිත් වැඩේ පටන් ගන්නව.
පිටුව පිරෙන්නම ලියල ඉවරවෙලා බොහොම ජයග්‍රාහී හිනාවක් එක්ක වටපිට බලනකොට එයා දැක්ක මම එයා දිහා  බලාගෙන ඉන්නව කියල. මමත් පුංචි හිනාවක් දැම්ම. එතකොට කොච්චිය මරදානට කිට්ටු වෙලා. එයා පෑන් පැන්සල් ටික බෑග් එකට දාගෙන පොතත් අරන් ආව මගේ ලඟට. පොත මගේ දිහාට දික් කරල "මේ...." කිව්ව. මමත් පොත අරන් බලල "හොඳයිනේ..." කිව්ව. මූනෙ හිනාවක් පුරෝගෙන එයා බැහැල යන දිහා මම බලාගෙන හිටිය.
ඒ සිද්ධිය එතනින ඉවර වුනත්  ඒ මතකය නම් මගේ හිතින් මැකිල ගියේ නෑ. මාතරට එනකන්ම මම ඒ ගැන කල්පනා කලා. ඇත්තටම එයාට අකුරු ඉගනගන්න තියන ආසාවට මෙහෙම කරනවද එහෙමත් නැත්නම් මානසික රොගයක්වත්ද කියල මම කල්පනා කලා.


හේතුව පලවෙනි එක නම් කොයිතරම් හොඳද...................

No comments:

Post a Comment